Sunday, January 16, 2022

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් - පරාක්‍රම කොඩිතුවක්කු -

පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය සඳහා වස්තු විෂය වී ඇත්තේ ආදර පරාජයක් සුබවාදීව  විඳ දරා ගැනීමට දැරූ උත්සාහයකි. මෙහි එන තරුණයා තමන් ආදරය කළ පෙම්වතියගේ රැවටීමකට ලක්ව පරාජයකට පත් වී ඇත. සැබෑ ලෙසම ආදර සංයෝගයන් හී දී එය අතිශයින් ම සුන්දර වන්නා සේම වියෝගයන් හීදී  එය අතිශයින්ම වේදනා අත්දැකීමකි. මේ නිසාම ඇතැමෙකුට එම පරාජය විඳ දරා ගැනීමට නොහැකි නිසා ජීවිතය විනාශකර ගන්නා අවස්ථාද බොහෝ වේ. එසේ වුවත් මෙහි එන තරුණයා එම පරාජය උපේක්ෂාවෙන් සහගතව විඳදරා ගැනීමට උත්සාහ කරන්නේ ජීවිතයේ පිළිබඳ ඉතා සුබදායී  අපේක්ෂා ඇත්තෙකු ලෙසින් ය. මෙම පරාජය වැලපීමට තරම් හේතුවක් වුව ද එසේ වැළපී විඳ දරා ගැනීමට ඔහු උත්සාහ නොකරයි.

 

නොවැලපෙමි, ඔබ යන්න වැලප ඇති පල  කිම් ද?        

ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ 

සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල් 

මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද? 




ප්‍රේම පරාජයක් ලැබුව ද මෙහි එන තරුණයා එය විඳ දරා ගැනීමට උත්සාහ දරන්නේ බොහෝ වැරදුණ තැන් ඇති ජීවිතයේ එය එක් වැරදීමක් නිසාවෙන්ම ය. ඒ වැරදීමේ දී ඔහුගේ  හදවතේ පිපුණු මල් සූරලා ගෙන යන ලෙස ප්‍රකාශකර සිටීමෙන් මේ කවියා අදහස් කොට ඇත්තේ ඇය වෙනුවෙන් ඔහුගේ හදවතෙහි වෙන් වූ ආදරයයි. ඈ වෙනුවෙන් ඇති වූ ආදරය බිඳකුදු නොතබා ගෙන යන ලෙස ප්‍රකාශ කිරීම එහි යටි අරුතයි. ඈ වෙනුවෙන් ගොඩ නැගුණු ආදරය ගෙන ගියත් ඔහුගේ හදවතෙහි ඕනෑ තරම් පිරුණු ආදරය ඇයට ගෙන යා නොහැකි බව 'මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකි ද' යන ප්‍රකාශයෙන් කවියා අර්ථවත් කොට ඇත. ඒ හරහා වෙන අයෙකු වෙනුවෙන් ඕනෑ තරම් ඔහුගේ හදවතෙහි ආදරය රැඳී තිබෙන බව අර්ථවත් කරයි. ඔහු පුන පුනා අවධාරණය කර සිටින්නේ තමා නො වැලපෙන බවයි. වැලපී ඇති ඵලක් නැති බවයි. ජීවිතය නසා නොගන්නා බවත් අවධාරණය කරන තරුණයා තමා හැර යන ඇයට වෛර නොකරන බව ද පෙනේ. 'ඔබ යන්න ජීවිතය සොයාගෙන සොයාගෙන' යන ප්‍රකාශයෙන් ඒ බව  ගම්‍යමාන කෙරේ. ප්‍රේමයේ විරහව අනෙකාට ප්‍රබලව දැනෙන්නා සේ ම මෙහි එන තරුණයාට ද එය ප්‍රබලව දැනේ. එහෙත් වේදනාවෙන් තැවෙන ඔහු මොහොතක් මොහොතක් පාසා ප්‍රාර්ථනා කරන්නේ ඇගේ ජීවිත යහපත යි.


ඔබ යන්න මධුරතර සප්ත ස්වරයත් අරන්

ඔබේ රථ මැදිරියට මගේ ඉර හද අරන් 

ඔබ යන්න මහද තෙත් වැහි වලාකුළ අරන් 

කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්





කවියා ඔහුගේ මධුර තර සප්ත ස්වරය රැගෙන යන ලෙස කීම තුළින් ඔහුගේ ජීවිතයේ මිහිරියාව ඇගනේ පසු නැති බව ගම්‍යමාන කර ඇත. තමාගේ ජීවිතය අඳුරු වුවත් ඇගේ ජීවිතය ආලෝකමත් කිරීමට ඔහුගේ ජීවිතයේ එළිය කළ ඉර හඳ ඇයට දීමට ඔහු සූදානම් විය. එමෙන්ම ඒ අඳුර තුළ හදවත දැඩි කරගෙන වේදනාව විඳ ගැනීමට සූදානම් විය. එස‍ෙ විඳිමින් ඔහුගේ ආයුෂ ද ඇයට භාරකර තමා හැර යන ඇයට යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කිරීමට ඔහු සූදානම් ය.


කෙසේ වෙතත් නැවත දිනක පාට හත පිරුණු දේදුන්නක් සේ ඔහුගේ ජීවිතයට සුන්දර ආදරයක් උරුම වේවි යන  බලාපොරොත්තුව මෙහි එන ප්‍රේමවන්තයා සතු යි. පාලම මත දී ඒ පැයූ දේදුන්නේ පාට හත ගනින බව කීම තුළින් එය අදහස් කර ඇත. ඔහු පුන පුනා ප්‍රකාශකර සිටින්නේ තමා හැර යන ඇයට සාර්ථක ජීවිතයක් උදා වේවා යන්න ය. ​


වෙස්මුහුණ පැළඳගෙන සිටින තැන හිතක් නැත 

ගෙවදින්න ඇති නිසා හෙට අලුූත් විමානෙට 

පෙම් ගී අලංකාර වීසි කොට යනු මැනවි 

නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් 

ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට




මෙහි එන 'වෙස්මුහුණ පැලඳගෙන සිටින තැන හිතක් නැත' යන්නෙත් කවියා අදහස් කොට ඇත්තේ පෙම්වතිය විසින් ඔහු රැවටූ බව යි. එහෙත් ඒ රැවටීමට පලි ගැනීමට සූදානමක් නොමැති කවියා ඈ යන විමානයට හිස් අහසට  පියඹන කිරිල්ලියක පරිද්දෙන්  නිදහසේ යාමට ඉඩ දී එපමණක් නොව ඒ රැවටිලිකාර ප්‍රේම පරාජය සුබවාදීව විඳගන්නා කවියා ද ඔහුගේ ලෝකයට පිය මනින්නේ එපරිද්දෙන්ම නිදහස් මිනිසෙකු ලෙස ය. මෙහි එන තරුණයා ඇය හා ගෙවූ අතීතය පිළිබඳ කිසියම් වූ ස්මරණයක යෙදෙන බවක් පෙනේ. කුඩා අවධියේ ඔහුගේ අත අතැර කෙළි කවටකමට සැඟවුණු මොහොතේ ඈ සොයා ඔහු ජය ගත්තේ ය. ඔහු පවසා සිටින්නේ ඒ සැඟවී යාම විනීත බවයි. මන්දයත් කවටකමට කළ හැන්ඟීමකි. කුඩාකල අතීතයේ එසේ වුවත් වත්මනෙහි ඈ සැඟව යන්නේ කෙළි කවටකමට නොවේ. එහෙයින් ම ඒ අවිනීත සැඟව යාම සොයන්නට ඔහු වෙහෙසෙන්නේ ද නැත. වංචනික ප්‍රේමයේ ජය පරාජය සැබෑ ලෙසම ඔහුට ඵලක් නැත. මේ නිසා මේ පරාජය ජීවිතයේ වැරදීමක් පමණක් ම සිතා හිත හදා ගැනීමට උත්සාහ දරයි.


ආදරය නින්දක් ද  පිබිදිලා සිටින මට 

දිනෙන් දින මගේ නෙත් පැහැදුල් ය සුවිපුල් ය 

නින්ද තුළ නැති වුණේ එක දෙයයි වරදක් ද 

තව බොහෝ දේ තිබේ ජීවිතේ ජය ගනිමි




කවියා ආදරය නින්දක් ලෙස දැක  ඒ නින්ද  තුළ නැති වූ එක දෙයක් පමණක් පිළිබඳව පසු නොතැවී ජීවිතය ඇති බොහෝ දේ ජය ගැනීමට සූදානම් විය. සමස්ත පද්‍යය පන්තිය පුරාවට කවියා උත්සාහ දරා ඇත්තේ ප්‍රේම පරාජයක් සුබවාදීව විඳීමට දැරූ උත්සාහයකි. 


මෙහිදී කවියා භාවිත කොට ඇත්තේ සඳැස් නිසඳැස් මිශ්‍ර නිදහස් කාව්‍යාකෘතියකි. ඇතැම්විට එහි බස් වහර සරලව ද ඇතැම් විට පැරණි බසින් ද මිශ්‍ර කර ඇත. සංකේතාත්මක යෙදුම් බහුල පද්‍ය පන්තියෙහි 'නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන්; වැනි උපමා ද, 'ආදරේ නින්දක්' වැනි රූපක ද දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම පද්‍යය පන්තිය පරාක්‍රම කොඩිතුවක්කු සාර්ථක කවි පන්තියකි.

10 comments:

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....