Saturday, January 15, 2022

පොඩි දුව - මා‍ෙනිකා රුවන්පතිරණ -


මොනිකා රුවන්පතිරණගේ පොඩි දුව පද්‍ය පන්තිය සඳහා වස්තු විෂය වී ඇත්තේ  පවුලේ පවතින දුප්පත්කම හේතුවෙන් නිවසක වැඩකාරකමට ගිය කාන්තාවකට එහි දී මුහුණදීමට සිදු වූ සිදුවීම් පෙළකි. ඈ නිවසින් පිටවන්නේ පවුලේ බර අඩු කිරීමට  පොඩි දුව ලෙස වුවත් ඈ සේවය  කළ කාලය තුළ මුහුණදීමට සිදුවන සිදුවීම්වලදී බොහෝ උදවිය ඈ අමතන්නේ විවිධ නාමයන්ගෙනි. මේ හරහා කතුවරිය සමාජය තුළ පවතින පන්ති විෂමතාව පිළිබදව මෙන් ම කුමන වෘත්තියක නියැලුනත් කාන්තාවක දෙස බැලිය යුත්තේ කාන්තාවකලෙස පමණක් යන මතය ද  ගෙන ඒමට උත්සාහ දරා ඇති බව පෙනේ. පද්‍ය පන්තියේ දිග හැරෙන්නේ සිය මවට පොඩි දුව කරන ප්‍රකාශයක් ලෙසයි. උපතේදී ම  මිනිසා මෙලොවට හිස් අතින් පැමිණිය ද මෙහි ජීවත් වන කාලය තුළ උරුමවන සහ උරුම කරගන්නා භෞතික සම්පත් ප්‍රමාණයේ අඩු වැඩි භාවය මත සමාජය තුළධනපති පංතිය සහ නිර්ධන පංතිය ලෙසින් සමාජ පංති දෙකක් ඇති වේ. එහි ප්‍රතිඵලයක් ල‍ෙස  ධනපති පංතියේ මිනිසුන් අධික ලෙස සැප විඳිද්දී නිර්ධන පන්තියේ මිනිසුන්ට සිදුවන්නේ දුක් කම්කටොලුවලින් ගහන අතිශය පීඩිත ජීවිත ගෙවීමට ය. මෙහි එන පොඩි දුව ද නිවසක වැඩකාරකමට යන්නේ පවතින දුප්පත්කම හේතුවෙන් ඇගේ පවුල වටා ගොඩනැගුණු  දුප්පත්කමේ  බර අදින්නට ය.


පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිටවන්නට            පෙර            

මතක ද අම්මෙ උඹ මට ඇමතුවේ පොඩි දුවේ         කියලා                                     

ජීවිතයේ පළමුවරට තනිවුණ කළ ඈත                     රටක                                 

එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කිව්වේ ලිසී          කියලා

                                                                                            


සැබෑ ලෙසම මෙහි එන ස්ත්‍රිය කාන්තාවක ලෙසින් හැඳින්වුවත් ඈ නිවසින් පිටවන විට ඇගේ මව පොඩි දුව ලෙස ඇමතීමෙන් පැහැදිලිව පෙනී යන්නේ මෙහි එන කාන්තාව වයසින්  මුහුකුරා නොගිය තවමත් දෙමවුපියන්ගේ සෙවනෙහි හැදී වැඩෙන ළාබාල තරුණියක බවයි. සමාජ ක්‍රමය තුළ පවුලේ බර පිරිමින් ඉසිලුව ද නූතන සංකීර්ණ සමාජ ක්‍රමය තුළ පුරුෂ පාර්ශවය මෙන් ම  ස්ත්‍රී පාර්ශවයට ද තම මෘදු මොළොක් ස්වභාවය පසෙකලා වෙහෙසීමට සිදුවෙයි. මෙහි එන පොඩි දුව ද එලෙසින් පවුලේ බර කරට ගත් තැනැත්තියකි.ඈ මේ අයුරින් නිවසින් දුර ඈත රටක තනි වන්නේ ජීවිතයේ පළමු වතාවට ය. එයින් ම ඇගේ ළද බොළඳ භාවය මතුවෙයි. යථාර්ථය එසේ වුවත් පවතින සමාජ ක්‍රමයේ ඇයට ද බෙහෙත් වීමට වෙහෙසීමට  සිදුව ඇත. මෙහි දීකිවිඳිය ඈත රට යන්නෙන් අදහස් කළේ ලංකාවෙන් පිට රටක් පිළිබඳ නොවෙයි. ගම්මු ඈත රට යනුවෙන් අදහස් කරන්නේ නිවසෙන් බැහැර දුර ප්‍රදේශයකටයි. ඒ අනුව මෙහි එන තරුණිය ගෘහ සේවයට ගොස් ඇත්තේ ලංකාවේ ම ධනපති නිවසකට ය. එහෙත් ධනපතියන්ගේ අකාරුණිකභාවය නම් මෙහෙයට ගිය පළමු දිනම පොඩි දුවගේ නම 'ලිසි' ලෙස වෙනස් වී ඇත. ඉන් පෙනී යන්නේ පවතින දුප්පත්කම ඉදිරියේ ඇතැම් මිනිසුන්ගේ සමාජ තත්ත්වය ද පහත වැටී ඇති බවයි.


මෙහෙකාර සේවයට ගිය දා පටන් ඇගේ සේවය ද නිමාවක් වී නැත.


අතින් හිසින් බර උසුලා පාර දිගේ මන්                                යනකොට 

දකින කෙනෙක් මට කිව්වේ ඒ වැඩ වැඩකාරියක්                     කියලා 

පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං                          යනකොට 

එතන ඉඳින  අය කිව්වේ බේබිගෙ ආයම්මා                              කියලා


වැඩකාරකමේ යෙදී සිටින අතර විවිධ මෙහෙයන් අතරතුර මිනිසුන් ඇය දැක ඇත්තේ ඇගේ වෘත්තියට සාපේක්ෂව විවිධාකාරයෙන් අතින් හිසින්  බර උසුලාගෙන පාර දිගේ ගමන් කරන බොහෝ විට ඇතැමෙකුට ඇය ගෙදරට වැඩකාරියකි. පොඩි දරුවකු අතින් රැගෙන පාසලකට ගිය පසු තවකෙකුට ඈ බේබිගෙ ආයම්මා ය. බොහෝ මිනිසුන් අනෙකා මැනීමට යොදා ගන්නේ ඔවුන්ගේ වෘත්තියයි එය නුසුදුසු මිනුම් දණ්ඩකි මෙහි එන කාන්තාව දෙස ද බොහෝ උදවිය දැක ඇත්තේ ඒ නුසුදුසු මිනුම් දණ්ඩෙන් කෑම බීම උයාපිහා දරදිය ආදී තවත් අයකුට ගෙදර කුස්සි අම්මා වූයේ ද ඒ නිසාවෙන්ම ය.


කෑම බීම උයා පිහා මං දර දිය අදින                            කලට 

දකින සියලු දෙනා කිව්වේ ගෙදර කුස්සි අම්මා           කියලා 

ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ පැදුරෙ ඇල      වුණාම 

තවමත් සිහිනෙන් උඹ මට කියන්නේ පොඩි දුවේ       කියලා




මොනිකා රුවන්පතිරණ කිවිඳිය ඇගේ නිර්මාණ හරහා බොහෝ විට උත්සාහ ගත්තේ ආසියාතික සමාජ ක්‍රමයේ ලංකාව තුළ ලාංකික කාන්තාවට අහිමි වී ඇති නිසි තැන ඇයට උරුමකර දීමට ය. නිවසක මෙහෙකාර සේවයෙහි යෙදුණ  පා‍ෙදුවේ ගත් කළ  මෙහි එන පොඩි දුව ද මනුෂ්‍ය ස්ත්‍රියකි. එසේ නම් සැබවින් ම ඈ දෙස බැලිය යුත්තේ පොදු ලක්ෂණයට එකඟව ය. මෙහි එන මවගේ ප්‍රකාශ හරහා කතුවරිය උත්සාහ ගෙන ඇත්තේ යථාර්ථය ගම්‍යමාන කිරීමට යි. මෙහි එන පොඩි දුව දෙස මිනිසුන් කුමන ආකාරයකින් බැලුව ද ඈ නිවසින් පිටවන විට ද ඇගේ මවට නම් ඈ පොඩි දුවම ය. මෙහෙය නිමවා රාත්‍රී නිදි පැදුරේ  ඇලවුණු කළ ඇගේ හීන අතරට එන අම්මා එවිට ද අමතන්නේ පොඩි දුව ලෙස යි. මේ අයුරින් කතුවරිය පද්‍ය පන්තිය තුළ දී  කාන්තාවක දෙස බැලිය යුත්තේ කාන්තාවක ලෙස පමණක් බව යන්න සනාථ කිරීමට  උත්සාහ දරා ඇති බව පෙනේ.


පන්ති විෂමතාව පාදක කරගෙන සිව් පද සිව් පද ආකෘතියෙන් රචිත පද්‍ය පන්තියෙහි එළිසමය පිළිබඳ සැළකීමක් දක්වා නැති බව පෙනේ. සරල එනම් 'අම්මේ, උඹ මට'  'අතින් හිසින්', 'ගෙදර කුස්සි අම්මා', 'නිදි පැදුරෙ ඇලවුණාම', 'උඹ මට'  වැනි ගැමි වචන ද බේබිගෙ ආයම්මා වැනි නාගරික සමාජයේ වචන ද භාවිත භාෂාව මිශ්‍ර එකක් බවට පත් කොට ඇත. උපමා රූපක නැතත් තැනින් තැන ' අතින් හිසින් බර උසුලන්' වැනි යෙදුම් යොදා අනුප්‍රාසාත්මක ශබ්ද රසයක් ද පද්‍ය නිර්මාණයට එක් කොට ඇත. කෙසේ වෙතත් මෙම පද්‍ය පන්තිය මොනිකා රුවන්පතිරණගේ සාර්ථක පැදි පෙළක් සේ අගය කළ හැකිය.

4 comments:

  1. ඇය තම නිර්මාණවල මව - දරුවන්- දිළිඳුකම ගැන වැඩිවැඩියෙන් කතා කළා..
    හැන්දෑවට පිපී ලිලෙන
    හෙන්දිරික්ක මල් අතරින්
    මවුනි ඔබේ වත බැබලුණි
    ගමනේ කෙලවර දුටු වෙමි...

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ thank you

      Delete

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....